Sri Lanka PHEV and EV Charging Stations, Centers and Maintenance Services

2019 අය වැය, විදුලි වාහන බදු – මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්චාව

මෙවර අය වැය මගින් යෝජනා කර ඇති  විදුලි වාහන බදු වල ඇති ගැටළු පිළිබඳව ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය වන අපගේ අදහස් ගරු මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා වෙත යොමු  කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග අමාත්‍යංශයේදී අද (2019-03-11) දින සාකච්චාවක් පැවත්වුනි.

මූලිකව නව බදු යෝජනා හා වර්තමාන වෙළඳපොළෙහි ඇති විදුලි මෝටර් රථ අතර ඇති විෂමතාවය අප විසින් මෙහිදී අවධානයට යොමු කෙරුණි.

01. මොටරයේ ධාරිතාව මත අනුව බදු පැනවීම නිසා ඇති වූ විෂමතාව

බදු අය කිරීමේ කාණ්ඩ (මොටරයේ ධාරිතාව මත) අනුව 100kW වැඩි මෝටර් සහිත රථ සඳහා වැඩි බදු ප්‍රතිශතයක් පැනවී ඇති අතර මේ වන විට වෙළඳපොළේ ඇති විදුලි වාහන සැලකීමේදී පෙනී යන කරුණ නම් මධ්‍යම ප්‍රමාණයේ සාමාන්‍ය විදුලි වාහන බහුතරයක මෝටර් 100kW – 150kW අතර ධාරිතාවක් ගන්නා බවයි.

ඉහත පැහැදිලි කල විෂමතාව ඉවත් කර විදුලි වාහන ගෙන්වීම සාර්ථකව දිරිමත් කිරීම සඳහා අප විසින් යෝජනා කර සිටින්නේ 50kW – 100kW කාණ්ඩය 50kW – 150kW දක්වා ඉහල දමන ලෙසය.

2. බදු සහනය වසරකට අඩු කාලයක් භාවිතා කල වාහන සඳහා පමණක් ලබා දීමට ගත් තීරණය

පරිසරයට විශාල බලපෑමක් කරන ඉන්ධන මගින් ධාවනය කරන වසර 3ක් දක්වා පැරණි වාහන ගෙන්වීමට ඉඩ ලබා දී තිබියදී වසර 1ක් දක්වා පැරණි විදුලි වාහන සඳහා පමණක් බදු සහනය ලබා දී වසර 2- සිට 3 දක්වා පැරණි විදුලි වාහන සඳහා වැඩි බදු ප්‍රතිශතයක් අය කිරීම සාධාරණ නොවේ.

ලෝකය පුරා විදුලි වාහන වලට ඇති ඉල්ලුම අධික වීමත් සැපයුම අවම වීමත් නිසා ලංකාවට ප්‍රධාන ලෙස වාහන ගෙන්වන ජපානයෙන් හා එංගලන්තයෙන්ද වසරකට නොඅඩු වාහන ආනයනය කිරීමට විශාල හැකියාවක් නැති අතර. වසරක් පැරණි වාහන මිල වසර 2-3 පැරණි වාහන වලට වඩා සැලකියයුතු ලෙස අධික අගයක් ගනී.

ඉහත කාරණා සලකමින් අප රජයට යෝජනා කර සිටින්නේ විදුලි වාහන සඳහා වසර 1 දක්වා පමණක් දී ඇති බදු සහනය වසර 3 දක්වා පැරණි විදුලි වාහන සඳහා ලබා දෙන ලෙසයි.

දැනට ලංකාවට විදුලි වාහන ගෙන්වීම මුලිමනින්ම බිඳ වැටී ඇති අතර පසු ගිය වසර තුල ගේනවා ඇත්තේ විදුලි වාහන 150ක් පමණ ඉතා අඩු ප්‍රමාණයකි.

අප විසින් යොමු කෙරුණු ඉහත කාරණා සම්බන්ධව ගරු මුදල් අමාත්‍යවරයා හා සාකච්චා කර ඉක්මන් විසඳුමක් ලබා දෙන බවට පැවසුණු අතර විදුලි වාහන බැටරි ගෙන්වීම හා එම බදු පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග අප ඉදිරි සති කිහිපය තුල සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමු.

ස්තුතියි, මෙයට
මහිසංක අබේවික්‍රම
සභාපති  – ශ්‍රී ලංකා විදුලි වාහන  සමාජය

Download Press Release PDF

Scroll to Top