Sri Lanka PHEV and EV Charging Stations, Centers and Maintenance Services

ලංකාවේ ලීෆ් බැටරි වලට මොකද වෙන්නේ

මේ වන විට ලෝකයේ වගේම ලංකාවෙත් ජනප්‍රියම විදුලි වාහනය නිසාන් ලීෆ් ඒක.  2010 දෙසැම්බර් සිට 2018 ජනවාරි දක්වා ලීෆ් 300,000 ක් ලෝකය පුරා විකුණලා තියෙනවා. ලංකාවේ මේ වන විට ලීෆ් 4500ක් පමණ භාවිතයේ තියෙනවා. ලංකාවේ ලීෆ් වල දැන් ඇති වී තිබෙන ප්‍රශ්නයක් තමයි ප්‍රධාන බැටරියේ ධාරිතාව අඩු වීම. ලංකාවේ ලීෆ් වලින් සැලකිය යුතු ප්‍රමාණයක බැටරි ධාරිතාව දැන් 50% පමණ දක්වා අඩු වෙලා මේ කාර් වලට 2018 වර්ෂය තුල බැටරිය මාරු කිරීම අවශ්‍යයි.

නිසාන් සමගම මගින් විකුණන ලද ලීෆ් සඳහා අලුත් බැටරියක් ඇ.ඩො 5000-6000 අතර මිලකට ලබා දෙන බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා නමුත් ලංකාවට එම පහසුකම ලබා ගැනීමේ හැකියාවක් නැහැ මොකද ලංකාවේ නිසාන් සමාගම හෝ එහි නියෝජිත ආයතනය විසින් ලීෆ් විකිණීම සිදු නොකරන නිසා. ඒ වගේම ලීෆ් විකුණන රට වල උනත් ඕනි කෙනෙක්ට ගිහින් ලීෆ් බැටරියක් ඉහත කී මිලට ගන්න බැහැ. අනිත් කාරණය මෙහෙ තියෙන ලීෆ් ඔක්කොම ජපානයෙන් නැත්නම් එංගලන්තයෙන් ගෙන්වන ලද පාවිච්චි කරන ලද වාහන ඉතිං ඒවාට සමාගමේ වගකීමක් කොහොමත් නැහැ.

ලංකාවේ දැනට තියෙන විසඳුම තමයි පිටරටින් ගෙන්වන ලද පාවිච්චි කරන ලද බැටරි. කාට හරි එහෙම බැටරියක් සොයා ගන්න පුළුවන් නම් ලංකාවේ දැන් බැටරි මාරු කිරීම සාර්ථකව සිදු කරන්න පුළුවන්. ලංකාවේ ලීෆ් එහෙම කරලා සාර්ථකව ධාවනය වෙනවා. නමුත් පවිච්චි කරන ලද බැටරියක් මිල දී ගැනීමේදී තිබෙන ප්‍රධාන ගැටළුව තමයි මේවයේ ධාරිතාව වාහනයට සවි කරලා ධාවනය කරලා පරීක්ෂා කරනතුරු දැනගැනීමට නොහැකි වීම. මේ බැටරි මිල දී ගන්න පුළුවන් වාහන අමතර කොටස් ගෙන්වන අයගෙන්. නමුත් මේ පාවිච්චි කරන ලද බැටරියක් සඳහා ලක්ෂ 2 කට වැඩි මුදලක් ගෙවන්න සිදු වෙනවනම් ඒක එච්චරම තේරුමක් නැහැ. අනික් කාරණය ධාරිතාව අවමයෙන් 80% කට වැඩියෙන් ධාරිතාවක් නොමැති නම් වැඩකුත් නැහැ.

ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය (EV Club) විසින් මේ සම්බන්ධයෙන් 2016 වසරදී ලංකාවේ නිසාන් නියෝජිත AMW සමාගම සාකච්චා කල මුත් ඔවුන්ගෙන් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඉන් පසුව අප විසින් ජපානයේ නිසාන් මවු සමාගමට මේ සම්බන්ධව කරන ලද දැනුම් දීමෙන් අනතුරුව ජපානයේ නිසාන් සමාගම ලංකාවේ AMW සමාගම හරහා ලංකාවේ භාවිතා වන ලීෆ් රථ නියදියක තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටියා ඉන් පසු අප ප්‍රදිද්ධ කරන ලද ප්‍රශ්නාවලියක් මගින් ලබාගත් තොරතුරු අප AMW ආයතනයට ලබා දුන් නමුත්  (අප විසින් ලබා දුන්නේ රථ වල විස්තර පමණී හිමිකරුවන්ගේ දුරකථන අංක හෝ වෙනත් කිසිම තොරතුරක් අප කිසිම පාර්ශවයකට ලබා දී නැත) ඉන් පසු අප හට AMW මේ වන තුරු වෙතින් නිසි පිළිතුරක් නොලැබුන අතර නොනිල ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබුනේ බැටරි වල මිල අධික වීම එයට හේතුව බවයි.

ඉන් අනතුරුව අප නැවත  ජපානයේ නිසාන් සමාගම හා නිසාන් ලීෆ් සඳහා බැටරි නිෂ්පාදනය කරන ලද ජපාන සමාගම සමග සාකච්චා කිරීම ආරම්භ කල අතර මුලින් වැඩි ප්‍රතිචාරයක් නොදැක්වුවත් පසුව 2017 වසර මුලදී නිසාන් සමාගම විසින් ඔවුන්ගේ තවත් අනු සමාගමක් වන 4R සමාගම අපට හඳුන්වාදුන් දී මේ සම්බන්දව ඔවුන් සමග සාකච්චා කරන ලෙස දන්වා සිටියා. 4R  සමාගම හට ලංකාවේ තිබෙන ලීෆ් රථ ප්‍රමාණය හා බැටරි අවශ්‍යතාව පෙන්වාදීමෙන් අනතුරුව ඔවුන් අපට තොරතුරු ලබා දුන්නා ඔවුගේ වැඩ පිළිවෙල ගැන.

4R සමාගම පිහිටුවා තිබෙන්නේ ජපානයේ නිසාන් සමාගම හා ජපානයේ සුමිටෝමෝ යන සමාගම් දෙකෙහි ආයෝජනයෙන් මින් වැඩි අයිතියක් තිබෙන්නේ නිසාන් සමාගමට. ඔවුන් විසින් ආරම්භ කරන කර්මාන්තශාලාවෙන් සිදු කරන්නේ නිසාන් සමාගම මගින් එකතු කරන ලද ජපානයේ පාවිච්චි කරන ලද බැටරි ගලවා ඒවායේ මොඩුයල  වෙන් වෙන්ව පරීක්ෂා කර ඉන් හොඳ මට්ටමේ පවතින මොඩුයල එකතු කරන නැවත වාහනයකට සවිකළ හැකි ආකාරයට ගොඩ නැගීමයි. හොඳ මට්ටමේ නැති නමුත් සතුටුදායක මට්ටමේ මොඩුයල ඔවුන් බලශක්ති ගබඩාකිරීමේ මාධ්‍යස්ථාන තැනීමට යොමු කරන අතර ඉතා දුර්වල මොඩුයල ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කරන කෙරෙයි. මෙලස ප්‍රතිනිෂ්පාදනය කරන ලද  බැටරි වල ධාරිතාව 80% වැඩි ප්‍රමාණයක් ඇති බවට ඔවුන් බලාපොරොත්තු වෙනවා (බැටරි බාර් 11-12)

මෙලස ප්‍රතිනිෂ්පාදනය කරන ලද බැටරි ශ්‍රී ලංකාව සඳහාද ලබා දීමට නිසාන් සමාගමේ අනුමැතිය ඇතිව 4R සමාගම එකගත්වය පල කිරීමෙන් පසුව ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය විසින් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා  එලෙස ප්‍රතිනිෂ්පාදනය කල බැටරියක් අප හට පරීක්ෂා කිරීමට ලබා දෙන ලෙස එයට ඔවුන් එකඟ වීමත් සමග ඔවුන්ගේ බැටරි අපනයන කරන සමාගම වන ජපානයේ සුමිටෝමෝ ආයතනය වෙත අප යොමු කළා. ඉන් පසු සුමිටෝමෝ ආයතනය සමග අප කරන ලද සාකච්චා වලින් අනතුරුව ඔවුන්ගේ සමාගමේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයකු වන Hiroshi Saitoh මහතා 2018  පෙබරවාරි 26 ලංකාවට පැමිණි අතර ලංකාවේදී මෙම බැටරි ගබඩා කිරීමේ හා නිවැරදිව සවි කිරීම සිදු කල හැකිද යන්න සොයා බැලීම හා ලංකාවේ පවතින තත්ත්වය තහවුරු කර ගැනීම ඔහුගේ ගමනේ අරමුණු වුනා.

ඉහත සියලු වැඩපිළිවෙල හා තොරතුරු ඔවුන් ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය සමග හුවමාරු කරගත්තේ 2017 වර්ෂයේ මුල සිට වන අතර මෙම වැඩ පිළිවෙල ගැන ජාත්‍යන්තරව නිසාන් සමාගම නිල වශයෙන් ප්‍රකාශයට පත් කලේ 2018 මාර්තු 26 දිනය  (එම නිවේදනය). එම නිසා අප හටද මෙම තොරතුරු ප්‍රසිද්ධ කිරීම පමා කිරීමට සිදු විය.  ජපානයේදී කි.වො.පැ 24 බැටරියක් ජපන් යෙන්  300,000 මුදලකට ලබා දීමට බලාපොරොත්තු වන බව නිසාන් සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී දැනට භාවිත කරන බැටරිය ඔවුන් විසින් ලබාගනු ඇත. ශ්‍රී ලංකාවේදී මෙම තත්වය වෙනස් වේ. ලංකාවේ භාවිතා කරන ලද ලීෆ් බැටරි ඔවුන් විසින් නැවත භාර ගැනීමක් සිදු නොකරයි.  මෙම බැටරි සඳහා ලංකාවට ලබා දිය හැකි  වගකීම හා මිල ගණන් තවමත් සඳහන් කර නොමැති අතර එම තොරතුරු ළඟදීම ඔවුන් විසින් අපට ලබාදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

තවද මෙම බැටරි ලංකාවට ගෙන ඒමට නම් ශ්‍රී ලංකා රජයේ සහය අප හට අවශ්‍ය වනු ඇත. ආනයන නීති හා බදු සම්බන්ද ගැටළු විසඳා ගත යුතුය. මේ සම්බන්ධව රජයේ අදාළ ආයතන වල අවධානය යොමු කර ඔවුන්  සමග සාකච්චා කිරීම අවශ්‍යය.

මේ සම්බන්ධව sundaytimes හි පල වූ ප්‍රවෘත්තිය මෙතනින් ඔබට කියැවිය හැකි අතර එහි මාතෘකාවේ සඳහන් වන “New Sri Lankan factory to reuse and recycle electric vehicle batteries” යන්න වැරදිය කර්මාන්ත ශාලාව විවෘත්ත වන්නේ ජපානයේය ලංකාවේ නොවේ.

නිතර අසන ප්‍රශ්න:

මෙම කර්මාතශාලාව ආරම්භ වන්නේ ලංකාවේද ?
නැත එය ආරම්භ වනුයේ ජපානයේය

ඔවුන් අප දැනට භාවිතා කරන බැටරි අලුත්වැඩියා කරයිද ?
නැත. ඔවුන් අප වෙත ලබා දෙන්නේ ප්‍රතිනිෂ්පාදනය කරන ලද බැටරි වන අතර ලංකාවේ අප දැනට භාවිතා කරන බැටරි එකතු කිරීමක් ඔවුන් සිදු නොකරයි.

මේම බැටරි අපට ලබා ගත හැක්කේ කවදාද ?
මෙම බැටරි ලංකාවට ලැබේද යන්න හෝ ලැබෙන දිනය තවමත් තහවුරු කල නොහැක. ප්‍රථමයෙන් පරීක්ෂාව සඳහා එක් බැටරියක් ඔවුන් ලබාදෙනු ඇත.

බැටරි ලංකාවට ආ පසු ඒවා නිවැරදිව සවි කිරීම ලංකාවේ සිදු කල හැකිද ?
ඔව් දැනටමත් එය සිදු කල හැකිය.

බැටරි මිල හා වගකීම? 
තවමත් ප්‍රකාශ කර නැත.

ලංකාවේ භාවිතා කරන ලද බැටරි සඳහා කුමක් වේද ? ඒවා ප්‍රතිචක්‍රීයකරණය කල හැකිද?
භවිතා කර ධාරිතාව 40%-50% දක්වා අඩු වූ බැටරි සූර්ය බලශක්ති හා නිවාස වල බලශක්ති ගබඩා කිරීමට යොදා ගත හැකි අතර එලෙස භාවිතයට ගත නොහැකි බැටරි ප්‍රතිචක්‍රීයකරණය සඳහා ප්‍රති අපනයය කරන ආයතනයක් (උ.දා. GreenLink) වෙත ඒවා ලබා දිය යුතුය.

මෙම වැඩ පිළිවෙල මගින් ලංකාවට බැටරි ලැබීම තහවුරු කල හැකිද ?
කිසිසේත්ම නැත. මෙම විසඳුම හා වෙනත් විකල්ප ඇත්නම් එම සියලුම දේ ගැන ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය උපරිම උත්සාහ දරන අතර සියල්ල බාහිර පාර්ශව මත රඳා පවතින නිසා අප ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය හට විසඳුමක්  පිලිබඳ වගකීමක් හෝ තහවුරු කිරීමක් කල නොහැක.

ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය යනු වාණිජ අරමුණු වලින් තොරව ස්වෙච්චා සහය මත ක්‍රියාත්මක වන සමූහයකි. අප විසින් සිදු කරන්නා වූ සියල්ලේ සාර්ථකත්වය රඳා පවතින්නේ සාමාජිකත්වය විසින් ලබාදෙන සහාය මතය. මේ සියල්ල සම්බන්ධව සාකච්ඡා කිරීමට සාමාජික හමුවක් අප අප්‍රේල් මස අගදී පැවැත්වීමට අදහස් කරන අතර දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

මහිසංක අබේවික්‍රම
ශ්‍රී ලංකා විදුලි මෝටර් රථ සමාජය
2018 මාර්තු 31

EVClub1

EVClub2

Scroll to Top